Bellanwila Rajamaha Wiharaya [බෙල්ලන්විල රජ මහා විහාරය]

බෙල්ලන්විල පුද බිමෙහි අභිමානවත් ප්රබල ලකුණක් බවට පත් වී ඇත්තේ මෙම දෙතිස්ඵල රුහ බෝධියයි. සිංහල බෝධි වංශය මීට සාක්ෂි දරයි. එහි දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථාන ග්රාම නාමයන් අතර බෙල්ලන්විල ග්රාම නාමයටද ඓතිහාසික වටිනාකමක් එක්කර දී තිබෙයි. යුග යුග පසුකිරීමේ දී එදා මෙම ඓතිහාසික පුදබිම ද වනයට වසන් වී ජන ශූන්ය වී පැවැතුණි. අනුරාධපුර යුගයෙන් පසු කලෙක එළැඹෙන කෝට්ටේ යුගයේ දී සවැනි පැරකුම්බා රජතුමා සාහිත්යයට පමණක් නොව ශාසනයේ සමෘද්ධිය වෙනුවෙන් සැළකිය යුතු සේවයක් කළ බව ප්රකටය. එම යුගයේ දී ඓතිහාසික පැපිලියාන සුනේත්රාදේවි පිරිවෙන බිහිවෙන අතර එහි භික්ෂූන් වහන්සේලා බෝධි වන්දනාව පිණිස එදා පැවැති කෙටි මං ඔස්සේ බෙල්ලන්විලට පැමිණි බව කියැවෙයි. සීතාවක යුගයේ දී ‘වන සැවුල් අස්නෙහි’ මෙම විහාරය පිළිබඳව සටහන් වී ඇති බව ද සඳහන් වී තිබෙයි.

1505 වසර අප මාතෘභූමිය පර දේශක්කාර පෘතුගීසීන් ආක්රමණය කළ එක් අඳුරු වසරකි. එහිදී ඔවුන් විශේෂයෙන් මේ මව්බිමේ වැසියන්ට සැනසීම උදාකළ වෙහෙර විහාර බිම් වනසා දැමීමට තරම් කුරිරු වූ බව කවුරුත් දන්නා සත්යයකි. මෙහි ඵල විපාක වශයෙන් බෙල්ලන්විලටත් අභාග්යසම්පන්න යුගයක් උදාවෙයි. කෝට්ටේ යුගය අකා මකා දමන මෙම ත්රස්ත ආක්රමණය නිසා බෙල්ලන්විලත් ජනශූන්ය හිස් භූමියක් විය. වෙහෙර බිම පාළු වෙමින් එය මහ වනය විසින් ආක්රමණය කරනු ලබයි. එසේ සියවස් දෙකක් පමණ දිගු කාලයක් මහා රූස්ස ගහ කොළ කටු ලැහැබ අතර මේ මහා බෝධීන් වහන්සේට ද නිසි කළ එළඹෙනතුරු බලාපොරොත්තු සහගතව හිඳින්නට සිදුවෙයි.

බෙල්ලන්විල වංශ කතාවේ පුනරාගමනය සිදුවන්නේ වර්ෂ 1850 දී පමණ තෙන්ගොඩගෙදර භික්ෂූන් වහන්සේ නිසායි. දිනක් උන්වහන්සේ අත්තිඩියේ සිට පැපිලියාන දක්වා ඇළ මාර්ගයක් දිගේ ඔරුවකින් ගමන් ගත් අතර අතර මඟ එක් තැනකදී දවුල් තම්මැට්ටම් හඬක් ඇසී ඒ ඔස්සේ ගිය විට මහ වනයේ වසන්ව තිබූ මේ මහා බෝධිය දැක ගැනීමට ලැබුණු බවත් එතැනට වඩින විට බෙර වැයූවකු නොදුටු බවත් ජන වහරේ කියැවෙයි. මෙය එදා තිබූ දෙතිස්ඵල රුහ බෝධියම බව දැනගන්නට ලැබීමෙන් පසුව එතැන නැවත ආවාසයක් තනා එහි වැඩ වසමින් පුදබිමක සිරියාව මතු කර ගැනීමට උන්වහන්සේ සමත් වෙති.

බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයත් ඇතැයි බොහෝ බැතිමතුන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ගර්භනී මව්වරු ආපදා උපද්රව සහිත බැතිමත්හු සෙත ශාන්තිය ප්රාර්ථනා කරමින් ලංකාවේ සතරදිග් භාගයෙන්ම බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණෙති. ඒ තරමට බෙල්ලන්විල මහ බෝ සමිඳුන් වටා ගොනු වී ඇති පුරාවෘත්තය බලවත් ය. වත්මන් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන්ගේ අනුග්රහයෙන් විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන්ගේ නායකත්වයෙන් මෙම රජ මහා විහාරයෙන් කෙරෙන ශාසනික සමාජ මෙහෙවර රටේ අභිවෘද්ධියටද ආශිර්වාදයක් වී තිබෙයි.

ඉතිහාසය පුරා පැවැති බෙල්ලන්විල ග්රාම නාමය යටපත් වෙමින් මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ නාමය ඉස්මතු වීමට තරම් විහාරස්ථානය ප්රබල වී තිබේ. බෙල්ලන්විල කියූ පමණින් ගම මතක් නොවේ. මෙනෙහි වන්නේ විහාරස්ථානයය, චිත්රයක් සේ සිත දිගට ඇදී එන්නේ බෙල්ලන්විල මහ පෙරහර අසිරියය. ඒ තරමට බෙල්ලන්විල බොදු දන හද බැඳි උප සංස්කෘතියක් උත්පාදනය කර තිබෙයි. සත්තකින් මෙය ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ නව ලකුණක් නිර්මාණය කිරීමට සමත් වී සිටියි.


 
source from a facebook fan page Link

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]