මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - උඩවත්ත කැලේ



පළමු කොටස

මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි. 


මහනුවර සංචාරය කරන එහෙමත් නැත්නම් වන්දනාවේ යන හුඟ දෙනෙක් නරඹන්නේ දළදා මාලිගාව සහ ඒ අවට තැන් කිහිපයක් පමණයි. සමහරු සිව් මහා දේවාල, පුරාවිද්‍යා කෞතුකාගාරය, ජාතික කෞතුකාගාරය වගේ තැන්වලටවත් යන්න උනන්දු වන්නේ නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සැලසුම් කළොත් ඔබට මහනුවර දැකගත හැකි තැන් තවත් රාශියක් තිබෙන බව වැටහේවි. මේ නිසා මහනුවර ඓතිහාසික මෙන්ම පාරිසරික සුන්දරත්වය සම්පූර්ණයෙන් දැකබලා විඳ ගැනීමට වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ එලෙස මඟහැරෙන තැන් කිහිපයක් ගැන මතක් කර දීමටයි.


උඩවත්ත කැලේ

උඩවත්ත කැලේ පිවිසුම – gloriouslanka.com


දළදා මාලිගය පිටුපසින් ඇදී යන මේ කුඩා වනාන්තරය රාජධානි සමයේ තහංචි කැලෑවක්.  එය අද පාලනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් ඔබටත් මේ වනය නැරඹිය හැකියි. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ නගර සභා ගොඩනැගිල්ල අසලින් දිවෙන කන්දේ වීදියේ ගමන් කිරීමෙන් උඩවත්ත කැලේට ළඟා විය හැකියි. වනය ඔස්සේ මාර්ග සකසා තිබෙන නිසා පහසුවෙන් එය ඔස්සේ පියමං කළ හැකියි. ජනප්‍රවාද පවසන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජු මුලින්ම තම මාලිගය ඉදිකර ගත්තේ මේ වනාන්තර භූමියේ බවයි. සෙංකඩගල නුවරට ඒ නම ලැබීමට හේතු වූ බව පැවසෙන සෙංකණ්ඩ බමුණා විසූ ලෙන පිහිටියේත් උඩවත්ත කැලේ යි.



වන මැද විවේකයක් – කුසුම්සිරි විජයවර්ධන
ලංකාවේ ප්‍රථම රක්ෂිත වනාන්තරය බවට පත්වූයේ මේ වනපෙතයි. ඒ 1856 ඔක්තෝබර් 25 දා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුවයි. එම වනපෙත 1938 ජූලි 29 දා අභය භූමියක් බවට පත් කළා. මෙහි විශාලත්වය අක්කර 257ක්. වනය ආරම්භ වන ස්ථානයේ පසෙකින් ශ්‍රී දළදා තපෝවනය පිහිටා තිබෙනවා. ඊට අමතරව ජර්මන් විහාරය, සේනානායක ආරාමය, මෛත්‍රී කුටිය වැනි බොදු පුදබිම්ද මේ තුළ පිහිටා තිබෙනවා.
පුරාණ පොකුණක් ද මෙහි තිබෙනවා. රජ සමයේ එහි සිට රජ වාසල දක්වා උමඟක් පැවති බව ජනප්‍රවාද පවසනවා.
මෙහි පැතිර තිබෙන්නේ තෙත් කලාපීය නිවර්තන වර්ෂා වනාන්තරයක්. වනයේ උසම ස්ථානය( අඩි 1800ක්) කොඩිගල නමින් හැඳින්වෙනවා. රජ සමයේ එහි කොඩි ගසක් ඉදිකර තිබූ බව සඳහන්. කොඩිමලේට ආසන්නව විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පුස්වැලක්ද දක්නට ලැබෙනවා. වනයේ එක් ප්‍රදේශයක සම්පූර්ණයෙන් පැතිර තිබෙන්නේ නා වනයක්. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක් පැතිර තිබෙනවා. කොස්, අංකෙන්ද, වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ සුලබයි.

යෝධ පුස්වැල gloriouslanka.com
පක්‍ෂි විශේෂ 81 ක්‌ උඩවත්ත කැලේ වන පියස තම නිවහන කරගෙන සිටිනවා. ලංකා රත්නළල් කොට්‌ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්‌ඩ උකුස්‌සා, සර්ප උකුස්‌සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් ඒ අතර සිටිනවා.  සර්ප විශේෂ 21 ක්‌ පමණ මෙහි සිටින බවට හඳුනාගෙන තිබෙනවා. උඩවත්ත කැලේ දිවිගෙවන සමනල විශේෂ  සංඛ්‍යාව 75ක්.


Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]