Seruwila Mangala Mahaseaya [සේරුවිල මංගල මහා සෑය]
ඓතිහාසික මෙන්ම ශාසනික වටිනාකමකින් අනූන සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්රිකුණාමල දිස්ත්රික්කයේ ය.
ත්රිකුණාමලයේ සිට මහ සයුරෙන් කි.මී. 14.4 ක් පමණ යාත්රා කිරීමෙන් පසුව මුතූර් වලට ගොඩ බැසිය හැකි ය. එතැන් සිට සේරුවිලට කි.මී. 16 කි. ගොඩබිමෙන් පැමිණෙන්නේ නම් කන්තලේ සිට කි.මී. 48 ක දුරක් ගමන් කළ යුතු වෙයි. ත්රිකුණාමල මඩකළපු මාර්ගයේ කින්නියාතොට, උප්පුආරු තොට හරහා කි.මී. 41.6 ක දුරක් ගමන් කිරීමෙන් ද සේරුවිල පුද බිම වෙත ලඟා විය හැකි ය.
මෙහි වන සේරු නම් විල නිසා ඊට අයත් ප්රදේශයට සේරු නුවර යැයි නම් කළ බව කියැවෙ යි.සේරු -ආ - විල සේරුවා විල ලෙස ද ප්රකටව තිබෙ යි. දුරාතීතයේ සිටි රහතන් වහන්සේලා පැන් පහසුව සඳහා මෙම විලට නිබඳව වැඩිය බවත් එසේ සිවුරු ආ විල පසු කලෙක සේරුවාවිල ලෙස කට වහරට සම්බන්ධ වු බවත් ජන වහරේ පැවැත එන තවත් මතයකි.
13 වැනි සියවෙසහි රචිත ධාතු වංශයට අනුව ගෞතම සම්බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩිය අවස්ථාවේ මෙම පුද බිමෙහි චෛත්ය රාජයාණන් පිහිට වු ස්ථානයේ නිරෝධ සමාපත්ති සුවයෙන් සම වැදි සිටි බවත් මේ කල්පයේ පෙර බුද්ධත්වය ලද කකුසඳ කෝණාගම, කාශ්යප යන තුන් බුදුවරුන්ගේ ධාතූන් පිහිට වූ අසිරිමත් ස්ථානයක් ලෙස පිවිතුරු වු බව සඳහන් වෙයි.
එසේම සියම් දේශයේ ඉතිහාස ග්රන්ථයන්හි සේරුවිල පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන් වන බව ‘පූජනීය සේරුවිල’ ග්රන්ථයේ සටහන් කර තිබෙයි. ‘මහාවාලුකා (මා වැලි) නදියට දකුණූ දෙස පිහිටි සේරුනම විල ඉස්මත්තේ රුහුණු මාගම පුර විසූ කාවන්තිස්ස මහ රජාණන් විසින් සර්වඥයන් වහන්සේගේ ලළාට ධාතුව සහ කේස ධාතු තැන්පත් කොට ගොඩ නගා තිබෙන චෛත්යයද එනමින් ප්රකට විය”
1960 වසරේ ජුනි මස බෞද්ධාලෝකය පත්රයට ලිපියක් ලියන වැඩ බලන පුරා විදු අධිකාරි ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වියතාණන් පවසන්නේ මෙසේ ය.
13 වැනි ශතවර්ෂයේ ලියන ලද ධාතු වංශයේ ලළාට ධාතු සේරුවිල නිධන් කොට ඇති බව නියත වශයෙන්ම පැවැසේ. ධාතු වංශය නම් ඇත්තෙන්ම ලළාට ධාතු වංශයයි. මෙසේ හෙයින් නුවර අවධියේ කරන ලද යම් යම් භක්ති කාව්ය වල එන ප්රවෘත්ති වලට වඩා ධාතු වංශයේ පුවත ඉහළින්ම පිළිගත හැකි බව කිව යුතුයි “
‘පූජනීය සේරුවාවිල ‘ ග්රන්ථයේ ඉතිහාසයෙන් බිඳක් නම් ලිපිය ලියා ඇත්තේ ධාතු වංශය ඇසුරිනි. එහි සඳහන් වන්නේ මෙසේය. ‘මෙම චෛත්යය භූමිය වනාහි අප සර්වඥයන් වහන්සේ බුදු වී අටවැනි අවුරුද්දෙහි ශ්රී ලංකාද්වීපයට වැඩ වදාළ තුන්වන ගමනේ පන්සියයක් පමණ මහ රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදී ශ්රී පාදස්පර්ශයෙන් පවිත්ර කළ පූජ්යතර භූමියක් හෙයින්ද ශ්රී ලංකාද්වීපයේ මා වැලි ගඟ දකුණු තෙර සේරු නම ඵල කෙළවර වරාහ සොණ්ඩ නම් වූ ගල් කෙමිය අසල කාවන්තිස්ස නම් රජකු විසින් තමන් වහන්සේලාගේ ලළාට ධාතුන් වහන්සේ පිහිටුවා ඉතා සිත්කළු වූ දා ගැබක් පිහිටනු ලබන්නේය. ආදි වශයෙනි.
මෙම ලිඛිත කරුණූ අනුව පෙනී යන්නේ සර්වඥයන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලෙසින් හැඳින්වෙන ලළාට ධාතුන් වහන්සේ නිධන් කර සේරුවිල මංගල මහා සෑය ඉදිකර ඇති බවයි. එසේ නම් මෙම ඓතිහාසික මහා සෑ රදුන් ලංකාවේ බුදු සසුනේ – සුවිශේෂී වූ ද පූජනීය වූ ද ස්මාරකයක් බව පැහැදිලි ලෙසම පිළිගත යුතුව තිබෙ යි.
ගෞතම බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමියට වැඩි චාරිකාවන් ත්රිත්වයේ දී නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටීමට තෝරා බේරා ගත් ස්ථානයන් අති පුජනීය ස්ථාන වශයෙන් සැලකීමට සැදැහැති බෞද්ධ ජනතාව පෙළඹී සිටිති.
සොළොස්මස්ථානයන් වශයෙන් නම් කර තිබෙන්නේ එම අති පාරිශුද්ධ පින් බිම් ස්මරණය කරමින් පුජනීයත්වයට පත් කරලීම උදෙසා ය. එම නාමයන් මෙනෙහි කරමින් පින්පෙත් පිරීම බෞද්ධ සිතට අපමණ වූ සැනසීමකි.
Comments
Post a Comment