Rangiri Dambulu Rajamaha Viharaya [ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය (ක්‍රි.ව. 1056- 1111)]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.

වාභාවික නිර්මාණයක් සුන්දර චිත්‍රයක් ලෙසින් පරිසරය විසින් අපට දායාද කළ දඹුල්ල ලෙන් විහාර පද්ධතිය ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ නිර්මාණශීලි දෑතින් තවත් වර්ණවත් වී තිබෙ යි .
අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත. රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය නමින් ප්‍රකටව ඇති මෙම ඓතිහාසික සිද්ධස්ථානයෙහි පෙළට ලෙන් පහක් ඇති අතර මෙය ලංකාවේ බෞද්ධ ලෙන් විහාර අතර අනභිබවනීය පුදබිමකි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර ට කි.මී. 72 ක් දුරින්, මාතලේට උතුරින් සහ කොළඹ සිට වයඹ දෙසට කි.මී. 147 ක්දුරින් මෙය පිහිටා තිබෙ යි.
ඓතිහාසික - ශාසනික මෙන්ම පුරා- විද්‍යාත්මක වටිනාකමකින් එකසේ අනූන මෙම පුද බිම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද වන්දනාමාන සඳහා යනෙන බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් බොදු සංස්කෘතික උරුමයකි.
කඳු පර්වතයක් මත්තෙ මූදු මට්ටමේ සිට අඩි 1,100 ක් පමණ උසකින් පිහිටි ස්වභාව ධර්මයේ අසිරිමත් ලෙන් පෙළෙහි ඉදිරිපස පැරැණි සම්ප්‍රදායට අනුකූලව මකර තොරණ පිවිසුම් දොරටු හා වා කවුළු ආදිය මිනිස් අතින් තවත් හැඩ වී ඇත. පෙළට ඇති ලෙන් පහ තුළ සිතුවම් ඇඳ ඇති ප්‍රමාණය වර්ග අඩි 20,000 ක් පමණ වෙයි. මෙහි ඇති බෞද්ධ සිතුවම් සහ ප්‍රතිමා ආදිය නිසාම මෙය මහා බොදු කලාගාරයක් බඳු ය.

ක්‍රි.පූර්ව යුගය දක්වා ඉතිහාසගත උරුමයක සාධනීය සාධක සහිත සහ ඉන් මෙපිට යුග කීපයක රජවරුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූ මෙම ඓතිහාසික සිද්ධස්ථානය අදටත් එම අභිමානවත් සාඩම්බර උරුමයේ වග තුග පවසමින් සෞන්දර්යාත්මක මෙන්ම සැදැහැති සිත් සතන් ද එකසේ සනසව යි.
කටාරම් ලකුණු සහිත ලෙන් හි ඊට පහලින් කොටා ඇති ශිලා ලේඛන මගින් ඒ යුගයේ හිමිකම පිළිබඳ සාක්‍ෂි සපයන අතර එක් ලෙනක බ්‍රාහ්මී අක්‍ෂරයෙන් මෙසේ සඳහන්ව තිබෙයි.

‘දෙවන පිය මහ රඣ ගාමිණී තිසහ ලෙන අගත අනගත චතු දිස සගස දිනෙ’ වශයෙනි.
එයින් කියැවෙන්නේ දෙවියන්ට පි‍්‍රය වු ගාමිණී තිස මහ රජුගේ ලෙන සතර දිගින් වඩිනා පැමිණී නො පැමිණි සංඝයා සතු කොට පූජා කර ඇති බවකි. මෙහි සඳහන් වන රජතුමා සද්ධාතිස්ස බව ඇතැම් වියතුන්ගේ මතය වන අතර තවකෙකු පවසන්නේ මෙහි සඳහන් වන්නෙ දේවානම්පියතිස්ස රජතුමා පිළිබඳව බව යි.
පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර අනුව මෙම ලෙන් සංකීර්ණය ක්‍රි.පූර්ව යුගයේ දී රහතන් වහන්සේලාගේ ආවාස ලෙන්කුටි වශයෙන් භාවිතා කළ බවට අනුමාන කළ හැකි වෙයි.

එසේ මුල් යුගයේදී ආවාස කුටි ලෙස පැවැති ලෙන් කුටි පසු කලෙක බුදු මැදුරු බවට පරිවර්තනය වී යුග කීපයක සිතුවම් මූර්ති වලින් සරසා අලංකාර කර ඇත.
මේ අතර බුදු පිළිම වහන්සේලා , ශ්‍රාවකයන්, දෙවිවරුන්, රාජකීයන් ආදියෙන් සමන්විත වී තිබෙන අතර මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුව බෞද්ධ කලා සම්ප්‍රදායේ ක්‍රමාණුකූල විකාශනය පිළිබඳ හදාරන්නකුට මෙම දඹුලු රජ මහා විහාරය මහානර්ඝ කලාගාරයක් බඳු ය.
දඹුලු විහාරයේ පුරාවෘත්තය පිළිබඳව ශිලාලේඛන, පොත්පත්, රාජකීයන්ගේ තුඩපත් ආදියෙන් තහවුරු කර ගත හැකි වෙයි. එම නිසා මෙම ඓතිහාසික ලෙන් විහාරය පිළිබඳව ඉතිහාස කතාව නිරවුල් ලෙස දිග හැර ගත හැකිව තිබෙයි.
ක්‍රි.පූර්ණ. 1 වැනි සියවසෙහි විසු වළගම්බා රජතුමා මෙම ලෙන් විහාරය කරවු බව කියැවෙන අතර 1 වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1056- 1111) මෙය ප්‍රතිසංස්කරණයට දායක වූ බව චූලවංශයේ සඳහන්ව තිබෙ යි.
නිශ්ශංකමල්ල රජතුමාගේ (ක්‍රි.ව.1187- 1196) ගල්පොත ශිලාලේඛණයට අනුව මෙතනට දැක්වූ අනුග්‍රහය පිළිබඳව සඳහන් වෙයි.

විහාරයම රන්පත් ඉරු වලින් ආවරණය කර ඒ තුළ වු බුදු පිළිම 73 ක් රන් ආලේප කිරීමෙන් පසුව මෙයට රන් ගිරි දඹුලු විහාරය වශයෙන් නැවත නම් තැබූ බව සඳහන් වන අතර 12 වැනි සියවසෙහි යාපහුවේ ශිලා ලිපියක සඳහන් වන පරිදි ස්වර්ණ ගිරි ගුහා යනුවෙන් සඳහන් වන්නේ ඒ දඹුලු ලෙන් විහාරය බව පිළිගැනෙයි. මහාවංශයේද මේ පිළිබඳව සඳහන්ව තිබෙයි. එහි කියැවෙන ආකාරයට රජතුමා රත්තරන් පිළිම 3 ක් මෙහි තැන්පත් කර බව තිබෙයි.
අද අපි හඳුනාගන්නා රන්ගිරි දඹුලු රජ මහා විහාරය වශයෙන් භාවිතා වන නම පිළිබඳ පසුබිම් කථනය එතැනින් ආරම්භ වෙයි.

නිශ්ශංකමල්ල රාජ්‍ය සමයෙන් පසුව දඹුලු විහාරයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ඉතිහාසගත ලේඛන බොහොමයක සඳහන්ව ඇත.
මෙම ඓතිහාසික සිද්ධස්ථානයට අනුග්‍රහය දැක්වූ රජවරුන් අතර මහනුවර සෙනරත් රජතුමා (1604- 1635) ශ්‍රී වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රජතුමා (1726-1736) සහ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා (1747 – 1782) ද විශේෂ වෙති.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ දඹුලු තුඩපත මෙහිදී වැදගත් වන්නේ අද අප දකින වර්තමාන ස්වරූපයේ සැකැසීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගය ප්‍රධාන වන නිසාය.
18 වන සියවසේ දී රජතුමාගේ අනුග්‍රහය ඇතිව වැලිවිට සරණංකර සංඝරාජ මා හිමි යන්ගේ අනුශාසකත්වයෙන් ඇතිවූ නව බෞද්ධ ප්‍රබෝධයේදී මෙම ලෙන් තුළ චිත්‍ර මූර්ති රාශියක් නිර්මාණය වූ අතර එය මෙහි උසස්ම අදියර වශයෙන් හඳුනා ගත හැක.
18 වන සියවසෙහි ව්‍යාප්ත වු කලා සම්ප්‍රදායේ නිර්මාණ කුසලතාවය මෙම ලෙන් විහාරයේ බිතුසිතුවම් තුළින් ප්‍රදර්ශනය වෙයි.රජතුමා ඒ වෙනුවෙන් නිලගම සිත්තර පරම්පරාවට අයත් සිත්තරුන්ගේ සහාය ලබාගෙන තිබේ.
එසේම මෑත ඉතිහාසයේ සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ 1848 වසරේ අවසාන විමුක්ති සටනේ දී දඹුලු විහාරයේ වැඩ සිටි ගිරින්නේගම ඉන්ද්‍රජෝති හිමි විසින් ගොංගාලේගොඩ බණ්ඩාට ඔටුණු පළඳවා එම විමුක්ති සටනට ආශිර්වාද පුජාව තබන ලද්දේ මෙම ඓතිහාසික දඹුලු රජමහා විහාරයේ දී බව සඳහන් වෙයි.
එමෙන්ම දඹුලු ලෙන පියස්සෙන් වෑහෙන කසිදා නොසිෙඳන දිය බිංදුව එදා නිර්මාණ ශිල්පියාගේ දහදිය කඳුළු බිඳුවට උපහාරයක් වශයෙන් පිදෙන පැන් පොදක් මෙන් අදත් එහි යනෙන සංචාරකයන්ව මවිතයට පත් කරවන සුළුය.
යුග කීපයක සිතුවම්හි විකාශනයත්, එහි සම්භාව්‍ය ලක්‍ෂණත්, පෙළහරක්වන් සම්බුදුපිළිම පෙළත් මේ ලෙන් තුළ වු ඝන අන්ධකාරය තුනී කරලමින් එහි ආලෝක කදම්භය දියත පුරා විසුරුවා හැර තිබේ.

ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ ගුණ සුවඳත්, රාජ තේජසක බලයත් එකසේ මුසු කළ මේ අසහාය කලාගාරයේ පහස විඳින්නට ඒ තුළට අප පිවිසෙන විට අපි හොඳින් මෙනෙහි කරගත යුතු වෙමු. මේ අපි ප්‍රවිෂ්ඨ වනනේ එදා රහතන් වහන්සේලාගේ පහසින් පාරිශුද්ධ වූ නිසාම නිවී පහන් වී ළය සනහා ගත හැකි ලෙන් කුටි සමූහයකට බව.




Comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]