Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]

 Credit goes to original author of this article(Sri Dalada Maligawa).

‘වැවයි දාගැබයි’ සංකල්පය අපට උරුම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සංකල්පයකි. එම සංකල්පය ඔස්සේ අප බොහෝ දෙනාගේ සිතෙහි චිත්ත රූපයක් පවතී. වෙසක් පත්වල පවා නිතර දැකිය හැකි එම දර්ශනයයේ සිසිල් සඳ එළියෙන් නැහැවෙන ස්වර්ණමාලි මහා සෑය ඈතින් දිස්වන ජලයෙන් පිරුන මහා වැව ඔබේ මතකයට ගලා එනවාට සැක නැත. එතැන ඇත්තේ අභය වැව නොහොත් බසවක්කුලම වැවයි.

ගණන් කළ නොහැකි තරම් ලොකු කුඩා වැව් රාශියක් රජරට වියළි කලාපය පුරා විසිරී ඇත ලොකු කුඩා වැවක් නොමැති ගමක් නොමැති තරම්ය. ගමට වැවක් යන සංකල්පය වියළි කලාපයට බෙහෙවින්ම ආවේණික ලක්ෂණයකි. වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ පදනම ද වැවයි. රජරට වැව් බැඳි රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාමය. එසේම අනුරාධපුරය ආශ‍්‍රිත නුවර වැව, කලාවැව, පදිවිය වැව යන වැව් තුනට සීමා වූ ප‍්‍රදේහය “නුවර කලාවිය” ලෙස ද හැඳින්වේ. අතීතයේ ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නමින් හැඳින්වුණේ ද මෙරට විසිරී පැවති වැව් පද්ධතියෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ සංවර්ධනය කළමණාකරණය නිසාය.
---------------------------------------------------------------------------------------------------------------------------
අඩි 2514 ක් උසැති සුප්‍රසිද්ධ රිටිගල කඳු වැටියෙන් ආරම්භව දඹුල්ල හා අනුරාධපුර ප්‍රදේශ හරහා ගලා ගොස් මැදවච්චිය පසුකර සීලාවතුර අසන්නයෙන් මන්නාරම් බොක්කට ලගාවන මල්වතු ඔයේ සම්පූරණ දිග සැතපුම් 104 ක් වේ. මෙහි මුල් කොටස අරුවි ආර ලෙස හැඳින්වෙන අතර මෙය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංඟා ද්‍රෝණිය වේ.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දී අනුරාධපුරය සිය අගනුවර කරගත් ප්‍රථම රජ වූයේ පණ්ඩුකාභය රජතුමාය. කුඩා කල තමා මරා දැමීමට උත්සාහ කල මාමාවරු කිහිපදෙනෙකු හා සටන් වැද ඔවුන් මරා රජ වූ එතුමා තැන වූ පළමු වැව බසවක්කුලමයි. එකල පණ්ඩුකාභය රජතුමා එය නම් කලේ සිය නමේ කොටසක් ගෙන ‘අභයවාපී’ ලෙසිනි. වසර 70 ක් රජකම් කල පණ්ඩුකාභය රජතුමා තැන වූ අභය වැව පසු කාලයක බසවක්කුලම නමින් භාවිතයට ගැනුනු බව කිය වේ. එය ශ්‍රී ලංකාවේ තනන ලද ප්‍රථම වැව ලෙසින් පිළිගැනීමට ලක්ව ඇත. එසේම පණ්ඩුකාභය රාජ්‍ය සමය වාරි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආරම්භයක් සනිටුවහන් කල යුගයක් ලෙස ප්‍රකටය. කෙසේ වුවද දැනට මතුව ඇති පුරාවිද්‍යාත්මක සහ වෙනත් සාධක මත ශ්‍රී ලංකාවේ වාසය කල ආදි හෙළයන්ගේ විස්මිත වාරි කර්මාන්තයට වසර 3000 ටත් වඩා දීර්ඝ උරුමයක් ඇති බව තහවුරු වෙමින් පවතී.

අක්කර 265 ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින අක්කර අඩි 1910 ක ධාරිතාවකින් යුතු බසවක්කුලම වැවේ, වැව් බැම්මේ දිග අඩි 3900 ක් වේ. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි පහළොව හමාරක් (15 ½) වේ. අක්කර 460 ක වපසරියකින් යුතු වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණය. විවර නමයකින් යුතු අඩි 100 ක් දිග සැකිල්ලකින් සමන්විත ස්වාභාවික වානක් ද වැවට අයත්ය. වැවේ පෝෂිත ප්‍රදේශය වර්ග සැතපුම් තුන හමාරක් (3 ½) වුව ද තිසා වැවෙන් ද අමතර ජල සැපයුමක් පවතී. පැරණි වැව නැවත ප්‍රතිස්ථාපනය කර ඇත්තේ එවකට රුපියල් 69,591 ක මූලික වියදමකිනි. ඒ 1874 තරම් ඉහත වසරකදීය.

බසවක්කුලම වැවේ ජල සැපයුම මඟින් අමතර අක්කර 916 ක් සඳහා වාරි පහසුකම් සපයා තිබේ. එහෙත් වැවේ වැදගත්ම කාර්යයභාරය වී ඇත්තේ නගරවාසීන්ගේ සහ වන්දනා කරුවන්ගේ ප්‍රජා අවශ්‍යතාවයන් සඳහා ජලය සැපයුම බව පැහැදිලිය. ඒ සඳහා නිරන්තරයෙන් ම අඩි 5 ක් උසට ජලය රඳවා ගැනීමට කටයුතු කෙරේ. අනෙකුත් වන්දනා සමයන්හි මෙන්ම විශේෂයෙන් ම පොසොන් වන්දනා සමයන්හි ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරාලීමට බසවක්කුලම වැව මහත් සේ දායක වන බව සඳහන් කල යුතුව ඇත. අපේ රටේ තැනුනු ප්‍රථම වැව ද තවමත් අප රටේ ජනතාවට මහඟු සේවයක් සලසමින් ජීවමානව පැවතීම අපේ අභිමානවත් වාර ශිෂ්ටාචාරයේ තිරසාර බවට කදිම සාක්ෂියකි. එසේම එය ජාතියක් ලෙස නිවහල් ව හිස කෙලින් තබා ගෙන සිටීමට හැකි උරුමයක් ලෙස ලොවට ම පෙන්වා දිය හැකි ජීවමාන සාධකයකි.







Comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]